ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ භූතාන නීතිඥ කවුන්සිලය අතර පළමු ද්විපාර්ශ්වික හමුව තිම්පු නුවරදී පවත්වා ඇති අතර, එහිදී යුක්තිය, නීතියේ ආධිපත්‍යය, වෘත්තීය අඛණ්ඩතාව සහ අධිකරණ ස්වාධීනත්වය තහවුරු කිරීම වෙනුවෙන් දෙරටේ නීති වෘත්තීන් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රාජීව් අමරසූරිය මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් භූතානයේ කළ මෙම ප්‍රථම නිල සංචාරයේදී, සභාපතිවරයා භූතාන මහාධිකරණය ඇමතීමට විශේෂ ආරාධනාවක් ලැබීම කැපී පෙනෙන සිදු වීමකි. එහිදී ඔහු අධිකරණ ස්වාධීනත්වය, විනිසුරු මඬුල්ල සහ නීතිඥ සංගමය අතර සබඳතාව මෙන්ම නීති අධ්‍යාපනය, වෘත්තීය සංවර්ධනය, තරුණ නීතිඥයින්ට නව අවස්ථා උදා කර දීම, නව තාක්ෂණය සහ අධිකරණ පරිපාලනය වැනි ක්ෂේත්‍රවල අන්མෝන්‍ය සහයෝගීතාව පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළේය.
තවද, මෙම සංචාරය අතරතුර BASL නියෝජිත පිරිස භූතාන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු නොර්බු ෂෙරිං (Norbu Tshering) සහ නීතිපති සෝනම් ටාෂි (Sonam Tashi) යන මහත්වරුන් ද මුණගැසී දෙරටේ නීති ක්ෂේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගෙන ඇත.
















