පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නායයෑමට ලක් වූ කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගයේ පනන්ගම්මන ප්‍රදේශයේ තාවකාලිකව ඉදි කළ ලෑලි පාලම මතින් ත්‍රීරෝද රථ ධාවනය අද (19) දින සිට තහනම් කළ බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඉන්දික ලලිත් මහතා පවසා තිබේ.
මෙම මාර්ගය නායයෑම නිසා ප්‍රදේශවාසීන් දැඩි පීඩාවට පත්වීම හේතුවෙන්, ස්ථිර පාලමක් ඉදි කරන තෙක් තාවකාලිකව යකඩ පාලමක් ඉදි කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවරයාට උපදෙස් දී ඇත. එම යකඩ පාලම ඉදි කරන තෙක් ප්‍රදේශවාසීන් එක්ව දැව කඳන් සහ යකඩ කේබල් යොදා මෙම ලෑලි පාලම තාවකාලිකව සකස් කර තිබේ.
අදාළ පාලම නිරීක්ෂණය කළ පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රදේශවාසීන් හමුවේ කියා සිටියේ, මෙම ලෑලි පාලම මතින් යතුරුපැදි ධාවනය කළ හැකි වුවද, ත්‍රීරෝද රථ ධාවනය සඳහා අදාළ ආයතනවලින් නිර්දේශ ලැබී නොමැති බැවින් අද (19) සිට ත්‍රීරෝද රථ ධාවනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි.
















