ශ්‍රී පාදස්ථානය ඇතුළු මෙරට සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන කිහිපයක කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සංචාරක කාර්යසාධන බලකා රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස දීර්ඝ කාලයක සිට විවිධ පාර්ශ්වයන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර, ඊට අමතරව කිකිළියාමාන සහ ඇල්ල යන ප්‍රදේශ ද කේබල් කාර් ව්‍යාපෘති සඳහා සුදුසු ස්ථාන ලෙස හඳුනාගෙන ඇත. මෙම ස්ථානවල ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳව විධිමත් ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීමටත්, අවශ්‍ය මූලික අවසරයන් ලබා ගැනීමට අදාළ වාර්තා සකස් කිරීමටත් මෙහිදී තීරණය විය.
මීට අමතරව, මෙරට සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එළඹෙන මැයි මස 25 වන දා සිට රටවල් 40ක් සඳහා නිදහස් වීසා පහසුකම ක්‍රියාත්මක කිරීමට ද රජය සැලසුම් කර ඇත. මෙම පියවර හරහා මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි. එමෙන්ම යාල ඇතුළු මෙරට වනෝද්‍යාන 19ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, එම ස්ථානවල නඩත්තු කටයුතු පෞද්ගලික අංශයට පවරා දීම සහ නව වැසිකිලි පද්ධති ස්ථාපිත කිරීම කෙරෙහි ද සාකච්ඡා විය. සංචාරක යටිතල පහසුකම් සැපයීමේදී සනීපාරක්ෂක පහසුකම් ඉතා වැදගත් සාධකයක් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම කොල්ලුපිටියේ සිට මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව නව සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇති අතර, එමඟින් දිනකට සංචාරකයින් 2,000ත් 3,000ත් අතර පිරිසක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිතය. මෙම විශේෂ සාකච්ඡාව සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වී සිටියහ.














