කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සම්බන්ධ ගෝලීය පාලන රාමුව සකස් කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල හඬටද සමාන අවස්ථාවක් හිමිවිය යුතු බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පවසයි. චීනයේ ෂැන්හයි නුවර පැවැත්වෙන 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුවට (WAIC) සමගාමීව පැවති රාජ්‍යතාන්ත්‍රික සමුළුව අමතමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
‘දීප්තිමත් අනාගතයක් සඳහා AI හවුල්කාරිත්වය’ යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේදී, ගෝලීය AI පාලනය සකස් කළ යුත්තේ දකුණු අර්ධගෝලයේ රටවල්ද තීරණ ගැනීමේ මේසය වටා වාඩි කරවා ගනිමින් මිස, තීරණ ගැනීමෙන් පසුව ඔවුන්ව දැනුවත් කිරීමෙන් නොවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. එසේම, වගකීම් සහගත AI භාවිතයක් සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ නුදුරේදී පිහිටුවීමට නියමිත ජාතික AI ආයතනය හරහා දේශීය ධාරිතාව වර්ධනය කිරීමට ගන්නා පියවර පිළිබඳවද ඒ මහතා කරුණු පැහැදිලි කළේය.
















