ඉදිරි වසර 10ක කාලය තුළ කිසිදු බාධාවකින් තොරව සියලු විදේශීය ණය වගකීම් පියවීමට ශ්‍රී ලංකාවට පූර්ණ හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කොළඹදී පැවැති මෙරට විදේශ තානාපතිවරුන්ගේ හමුවකදී ප්‍රකාශ කර තිබේ. සාර්ථක ලෙස නිම කරන ලද ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මීට පෙර මුහුණ දීමට සිදු වූ ආකාරයේ ණය ගෙවීම් පැහැර හැරීමකට හෝ නැවත ණය අර්බුදයකට රට ගොදුරු නොවන බව ඔහු තහවුරු කළේය.
ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් වීමත් සමඟ ඉදිරි දශකය තුළ වසරකට ගෙවිය යුතුව ඇති විදේශීය ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට වඩා අඩු මට්ටමක පවතියි. මහ බැංකුවේ දළ නිල සංචිත ප්‍රමාණය වර්තමානයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් වන අතර, එය මේ වසර අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් දක්වාද, ඉදිරි වසරවලදී බිලියන 10ක් දක්වාද වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරක ව්‍යාපාරයේ ආදායම, විදේශ ප්‍රේරණ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල මූල්‍ය සහාය ඊට ප්‍රධාන වශයෙන් දායක වී ඇත.
ශ්‍රී ලංකාව මේ වසරේදී සියයට 4ත් 5ත් අතර ආර්ථික වර්ධනයක් අත්කර ගනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, පළමු ත්‍රෛමාසිකයේදී සියයට 5ක වර්ධන වේගයක් වාර්තා කිරීමට සමත් විය. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8ක සිට සියයට 16 දක්වා දෙගුණයකින් වර්ධනය වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC’ මට්ටමේ සිට අර්බුදයට පෙර පැවැති ‘B’ මට්ටම දක්වා ඉහළ නංවන ලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතන සමඟ සාකච්ඡා පවත්වමින් සිටියි.
















