ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 සැප්තැම්බර් මාසයේදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 64.2ක ශුද්ධ මිලදී ගැනීමක් සිදුකර ඇත. ඒ අනුව, සැප්තැම්බර් මාසයේදී මහ බැංකුව ඩොලර් මිලියන 85ක් මිලදී ගෙන ඇති අතර, ඩොලර් මිලියන 20.8ක් අලෙවි කර තිබේ.
මීට පෙර 2026 අගෝස්තු මාසයේදීද මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වෙමින් ඩොලර් මිලියන 579ක දැවැන්ත මිලදී ගැනීමක් සිදුකර තිබුණි. ශ්‍රී ලංකා රුපියලේ අතිප්‍රමාණය වෙමින් සහ අමෙරිකානු ඩොලරයේ අගය පහළ යමින් තිබූ පසුබිමක මහ බැංකුව එලෙස විශාල ඩොලර් ප්‍රමාණයක් මිලදී ගැනීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රතිචාර දක්වා ඇත.
පසුගියදා පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, අනවශ්‍ය විනිමය අනුපාත උච්චාවචනයන් වැළැක්වීම මෙන්ම විදේශ සංචිත ගොඩනැගීම සඳහා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළට දෙපසින්ම මැදිහත් වන බවයි. වෙළෙඳපොළේ පවතින විදේශ විනිමය ද්‍රවශීලතාව අනුව එම මැදිහත්වීම් කාලයෙන් කාලයට වෙනස් වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.













