අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තීනියාවල ආරණ්‍යයට වැඩම කළේ නිකායේ නායක හිමිවරුන්ගේ උපදෙස් මත බවත්, උන්වහන්සේගේ ජංගම දුරකතනයේ සංඥා (Signal) නොමැති වීම හේතුවෙන් නීතිඥවරුන් සමග කතා කිරීමට නොහැකි වූ බවත් චුදිත හිමියන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සුදත් ජයසුන්දර අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
අධිකරණ අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මගින් නියම කර ඇති සිර දඬුවම්වල ඉතිරි කාලය ගෙවීම සඳහා උන්වහන්සේව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාර දෙන ලෙස අභියාචනාධිකරණය මෙහිදී නියෝග කර ඇත. නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසමක් අනුව සිතාසි නිකුත් කළද ඥානසාර හිමියන් නොපැමිණීම හේතුවෙන් අධිකරණය විසින් මුලින් වරෙන්තු සහ පසුව විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ නීතිඥවරයා සඳහන් කළේ, ඥානසාර හිමියන් කිසිවිටෙකත් අධිකරණය මගහැර පලාගොස් නොමැති බවයි. උන්වහන්සේ මානසික වශයෙන් බිඳ වැටී රෝගාතුර තත්ත්වයක පසුවූ බැවින් නායක හිමිවරුන්ගේ උපදෙස් මත විවේක ගැනීම සඳහා ආරණ්‍ය සේනාසයක රැඳී සිටි බවත්, එහි දුරකථන සංඥා දුර්වල වීම නිසා නීතිඥවරුන් සමග සම්බන්ධ වීමට නොහැකි වූ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර, ඥානසාර හිමියන්ට ලබාදුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අහෝසි කර ඇති බැවින්, උන්වහන්සේට නියම කරන ලද ඉතිරි සිර දඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය, වගඋත්තරකාර හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාර දෙන ලෙස නියෝග කළේය.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.













