ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ අභිමානවත් සලකුණක් තබමින්, ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRPD) සම්බන්ධ රාජ්‍ය පාර්ශවකරුවන්ගේ සමුළුවේ (CoSP) 19 වන සැසිවාරයේ සභාපතිත්වය ඉතා සාර්ථකව භාරගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවති මෙම සැසිවාරය, ගෝලීය සංසදයේ 20 වන සංවත්සරය සනිටුහන් කළ අතර, එම ඓතිහාසික අවස්ථාවේදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය.
මෙම සභාපතිත්වය ලබා ගැනීම මගින් ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ව සමාජගත කිරීම උදෙසා ගෝලීය ප්‍රතිපත්ති සැකසීමේදී ශ්‍රී ලංකාවට තීරණාත්මක බලපෑමක් කිරීමට අවස්ථාව ලැබී ඇත. ගෝලීය වශයෙන් ආබාධිත පුද්ගලයින්ගේ සුබසාධනය උදෙසා කැපවී සිටින රාජ්‍යයන්ගේ සහයෝගය ඇතිව, ශ්‍රී ලංකාව මෙම නායකත්ව භූමිකාව තුළින් ලෝකයටම ආදර්ශයක් වෙමින් සිටී.
ශ්‍රී ලංකාව විසින් ලබා ගත් මෙම ජාත්‍යන්තර කීර්තිය සහ නායකත්වය, දේශීය මට්ටමින් ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවරයන් සඳහා ද විශාල පිටුවහලක් වනු නොඅනුමානය. එක්සත් ජාතීන්ගේ වේදිකාවේදී ලංකාව තැබූ මෙම පියවර රටේ රාජ්‍ය තාන්ත්‍රික ගමනේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.
















