තමන් යුද අපරාධකරුවෙකු නොවන බවත්, මව්බිම වෙනුවෙන් සටන් වැදුණු නිලධාරියෙකු ලෙස තමන්ට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධකවලට එරෙහිව කරුණු විමසීමට සූදානම් බව හිටපු යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ. ඉන්දියාව පදනම් කරගත් ‘ඉම්පැක්ට් ස්ටෝරීස්’ යූ ටියුබ් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ඒ මහතා, එක්සත් ජනපදය සහ මෑතකදී බ්‍රිතාන්‍යය විසින් තමන්ට එරෙහිව පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් “තමන් කළ වරද කුමක්ද?” යන්න විමසා සිටියි. හමුදා නීතියට පටහැනිව කිසියම් වරදක් සිදු කර ඇත්නම් ඩඬුවම් ලැබිය යුතු බවත්, තමන් සිදු කළේ රට වෙනුවෙන් පැවරුණු රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම පමණක් බවත් ඔහු අවධාරණය කරයි. යුද සමයේදී සාමාන්‍ය වැසියන් ආරක්ෂා කරමින්, ආයුධ බිම තබා භාර වූ කොටි සාමාජිකයන් 12,000කට අධික පිරිසක් කිසිදු ගැටලුවකින් තොරව පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළ බව ද සිහිපත් කළ හිටපු හමුදාපතිවරයා, රටට එරෙහිව ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ට සමාව හිමිව තිබියදී නීත්‍යනුකූලව සටන් මෙහෙයවූ වෘත්තීය හමුදාවකට එරෙහිව මෙලෙස සම්බාධක පැනවීම කනගාටුදායක තත්ත්වයක් බව වැඩිදුරටත් පෙන්වා දී ඇත.














