ශ්රී ලංකාව සහ චීනය අතර 1952 වසරේ අත්සන් තබන ලද ඓතිහාසික රබර් – සහල් ගිවිසුම සාකච්ඡා කර සකස් කිරීම සඳහා ප්රධාන කාර්යභාරයක් ඉටු කළ හිටපු වෙළඳ හා වාණිජ අමාත්ය දිවංගත ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයන්, ශ්රී ලංකාවට අභිනවයෙන් පත්ව පැමිණි චීන තානාපති වෙයි හුවැයිෂියැං (Wei Huaxiang) මහතා මෑතකදී හමුවී තිබේ. මෙම හමුවේදී දෙරට අතර පවතින දිගුකාලීන රාජ්යතාන්ත්රික හා ආර්ථික සබඳතා අගයමින් ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමට චීනයේ කැපවීම තානාපතිවරයා යළිත් තහවුරු කළේය. ඓතිහාසික මිතුරන් චීනය කිසිදා අමතක නොකරන බව අවධාරණය කළ ඔහු, රබර් – සහල් ගිවිසුම වැනි මුල් කාලීන සන්ධිස්ථාන හරහා ගොඩනගාගත් සදාකාලික ද්විපාර්ශ්වික මිත්රත්වය අනාගත පරපුරට රැක දී ඉදිරියට ගෙන යාමේ දැඩි අභිලාෂයද ප්රකාශ කර තිබේ.














