ඉන්දියාවේ සහ නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි රාජ්ජන්වා පරීක්ෂණ මධ්යස්ථානය අසලදී ශ්රී ලංකා ජාතිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකු ඉන්දීය සශස්ත්ර සීමා බල් (SSB) ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උත්තර ප්රදේශයේ බහරයිච් දිස්ත්රික්කයේ ජාත්යන්තර දේශසීමාව ආසන්නයේ පිහිටි වන රක්ෂිත මාර්ගයක් ඔස්සේ නේපාළ රාජ්යයට නීතිවිරෝධී ලෙස ඇතුළු වීමට උත්සාහ කිරීමේදී මෙම පිරිස ආරක්ෂක අංශ විසින් මෙලෙස අල්ලාගෙන ඇත.
ත්රිරෝද රථයකින් දේශසීමා ප්රදේශයට පැමිණ ඇති මෙම පිරිස නේපාළ දෙසට යාමට මාර්ගය විමසමින් සිටියදී ආරක්ෂක අංශවල සැකයට ලක්ව තිබේ. භාෂා ගැටලුවක් හේතුවෙන් මුල් අවස්ථාවේදී ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමේදී යම් අපහසුතා මතුවුවද, පසුව සශස්ත්ර සීමා බල් අංශ විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී අදාළ ශ්රී ලංකා ජාතිකයින් සතුව තිබී විදේශ ගමන් බලපත්ර සොයාගෙන ඇත. එහි සඳහන් වීසා බලපත්රවල කාලය මීට මාස තුනකට පමණ පෙර අවසන් වී ඇති බව අනාවරණය වීමත් සමඟ, ඔවුන්ගේ සංචාරක තත්ත්වය සහ දේශසීමාවට පැමිණි ආකාරය පිළිබඳව දැඩි ප්රශ්න කිරීම් සිදු කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ යාපනය ප්රදේශයේ පදිංචිකරුවන් වන අජිත් කුමාර් (39), කෞෂල්යා (38) සහ ප්රභාප් (38) යන ශ්රී ලංකා ජාතිකයින් තිදෙනා සහ තමිල්නාඩු ප්රාන්තයේ පදිංචිකාරියක වන ධර්ම් සුධාකර් (35) යන අයයි. මෙම පිරිස දේශසීමාව හරහා නේපාළ වෙත ඇතුළු වීමට උත්සාහ කළේ කුමන අරමුණක් සඳහාද යන්න සහ ඔවුන් අතර පවතින සබඳතාව කුමක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා මුර්තිහා පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සහ නීතිමය ක්රියාමාර්ග ආරම්භ කරනු ලැබ ඇත.














