මෑත කාලයේදී ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන දේශසීමා සන්නිවේදන වංචා (Telecom Fraud) සහ අන්තර්ජාලය හරහා සිදු කෙරෙන නීතිවිරෝධී සූදු ව්‍යාපාර මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනය එක්ව ඒකාබද්ධ මෙහෙයුම් සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ.
විශේෂයෙන්ම නැගෙනහිර සහ අග්නිදිග ආසියානු කලාපීය සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, ශ්‍රී ලංකාව වැනි “වඩාත් දුරස්ථ සහ පහසුවෙන් ඉලක්ක කළ හැකි” රටවල් වෙත තම සාපරාධී ජාලයන් ව්‍යාප්ත කිරීමට උත්සාහ කරමින් සිටින බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් දෙරටේ ආරක්ෂක අංශ සහ තාක්ෂණික විශේෂඥයින් ඒකාබද්ධව මෙවැනි සයිබර් අපරාධ ජාලයන් මුලිනුපුටා දැමීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මෙම සහයෝගීතාව හරහා බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම, තාක්ෂණික උපකරණ සහ පිරික්සුම් පද්ධති ශක්තිමත් කිරීම මෙන්ම නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් සන්නිවේදන වංචාවල නිරත වන විදේශිකයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීම ද වේගවත් කෙරෙනු ඇත.
















