ශ්රී ලංකාව සහ චීනයේ යුනාන් ප්රාන්තය අතර විශේෂිත නිෂ්පාදන ප්රවර්ධන සමුළුවක් සහ ව්යාපාරික හමුවක් කොළඹදී පැවැත්වී තිබේ.
චීනයේ ප්රමුඛ පෙළේ ව්යාපාරික ආයතන 30කට අධික සංඛ්යාවක නියෝජිතයන් මෙම හමුවට එක්ව ඇති අතර, එහිදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබා ඇත.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්යාංශය යටතේ පවතින ශ්රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව සහ චීනයේ යුනාන් ප්රාන්ත වාණිජ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම සමුළුව සංවිධානය කර තිබේ.
විශේෂ නිල උත්සවය වැඩබලන අමාත්ය ආර්. එම්. ජයවර්ධන මහතාගේ සහ ශ්රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියෑන් මහත්මියගේ ප්රධානත්වයෙන් ආරම්භ වූ අතර, අමාත්ය වසන්ත සමරසිංහ මහතා ද සූම් තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතුවේය.
මෙම වසරේ පැවැත්වීමට නියමිත 11 වැනි චීන–දකුණු ආසියානු එක්ස්පෝ ප්රදර්ශනය සඳහා ශ්රී ලාංකික සමාගම්වල සහභාගිත්වය තහවුරු කරමින් එකඟතා ලිපියකට ද අත්සන් තබා තිබේ.
මේ අතර, ජපාන ජයිකා ආයතනයේ සහයෝගය ඇතිව මෙරට ධීවර කර්මාන්තයේ පසුඅස්වනු හානිය අවම කිරීමේ නව ව්යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත. ඒ සඳහා මූලික ශක්යතා අධ්යයන කටයුතු ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.
වෙරළබඩ සහ ගැඹුරු මුහුදු ධීවර කර්මාන්තයේ පසුඅස්වනු කළමනාකරණය හා ශීතදාම පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ව්යාපෘති යෝජනාවලියක් සකස් කිරීමට ද තීරණය කර තිබේ. ධීවර, ජලජ සම්පත් හා සාගර අමාත්යාංශයේ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස මහතාගේ ප්රධානත්වයෙන් අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් වැඩිදුර ශක්යතා අධ්යයන සිදුකර ඇත.















