ශ්‍රී ලංකාවේ කුරුඳු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම මිල සනිටුහන් කරමින් පසුගිය මැයි මාසයේදී ‘ඇල්බා’ (Alba) වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 7,000 දක්වා ඉහළ ගොස් ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. මෙම වසරේදී කුරුඳු අපනයනය මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ආදායමක් උපයා ගැනීමට රජය ඉලක්ක කර ඇති අතර, පවතින වාර්තාගත මිල ගණන් එම ඉලක්කය සපුරා ගැනීමට විශාල පිටිවහලක් වන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දාර මහතා සඳහන් කළේය. පසුගිය 2025 වසරේදී කුරුඳු කර්මාන්තය මඟින් රුපියල් බිලියන 80කට ආසන්න (ඩොලර් මිලියන 260ක) ඉහළම වාර්ෂික අපනයන ආදායමක් උපයා තිබූ අතර, පසුගිය වසරේ මුල් මාස 5ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 5 තුළ අපනයන ආදායම තවත් රුපියල් මිලියන 27කින් ඉහළ ගොස් ඇත.
















