ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබාදෙන පොල් කර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පර්යේෂණ හා සංවර්ධන කටයුතු ශක්තිමත් කිරීම සහ පොල් වගාවට බලපා ඇති ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම පිළිබඳව වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ අවධානය යොමු වී තිබේ.
අමාත්යවරයා ඊයේ (27) ලුණුවිල පිහිටි පොල් පර්යේෂණ ආයතනයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත. එහිදී පොල් කර්මාන්තයේ ඉදිරි දියුණුව වෙනුවෙන් ක්රියාත්මක කළ හැකි වැඩපිළිවෙළ සහ ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු පිළිබඳව අවධානය යොමු විය.
පොල් වගාව සඳහා හඳුන්වා දී ඇති නව තාක්ෂණික ක්රමවේද වගාකරුවන් වෙත ප්රායෝගිකව සමීප කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ. වර්තමාන ක්ෂේත්ර අවශ්යතා ඉලක්ක කරගනිමින් පර්යේෂණ සිදුකිරීමත්, වගාවට බලපාන ගැටලු හඳුනාගෙන කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්ය පියවර ගැනීමත් අමාත්යවරයා අවධාරණය කළේය.
පොල් වගාකරුවන් මුහුණ දෙන අභියෝග සඳහා ප්රායෝගික විසඳුම් ලබාදීම, විද්යාත්මක දැනුම හා තාක්ෂණය කර්මාන්තයේ අවශ්යතා සමඟ සම්බන්ධ කිරීම සහ පොල් නිෂ්පාදනය වර්ධනය කිරීමේ වැදගත්කමද මෙහිදී පෙන්වා දී තිබේ.
මෙම අවස්ථාවට පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතා, ප්රාදේශීය දේශපාලන නියෝජිතයන්, අමාත්යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ අමාත්යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















