2025 වසරේදී ශ්‍රී ලංකාවේ පවුල්වලින් 21.3%කට පමණක් අවම වශයෙන් එක් ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් තිබූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ 2025 පරිගණක සාක්ෂරතා සංඛ්‍යාලේඛන වාර්ෂික ප්‍රකාශනයට අනුව, පරිගණක හිමිකාරිත්වය නාගරික, ග්‍රාමීය සහ වතු අංශ අතර සැලකිය යුතු වෙනස්කම් පෙන්නුම් කරනවා. නාගරික පවුල්වලින් 37.8%කට පරිගණකයක් තිබූ අතර, ග්‍රාමීය පවුල්වල එම අගය 18.6%ක් සහ වතු අංශයේ 5.2%ක් ලෙස වාර්තා වී තිබෙනවා.
පළාත් අනුව වැඩිම පරිගණක හිමිකාරිත්වය බස්නාහිර පළාතෙන් 34%ක් ලෙස වාර්තා වී ඇති අතර, අවම අගය වූ 10.1% උතුරු පළාතෙන් වාර්තා වී තිබෙනවා.
මේ අතර, 2025 වසරේදී වයස අවුරුදු 5ත් 69ත් අතර පුද්ගලයන්ගේ ඩිජිටල් සාක්ෂරතාව 72%ක් සහ පරිගණක සාක්ෂරතාව 39.2%ක් ලෙස සටහන් වී තිබෙනවා. එම පරිගණක සාක්ෂරතා අනුපාතය 2024 වසරට සාපේක්ෂව ප්‍රතිශත ලක්ෂ්‍ය 3.3ක වැඩිවීමක් බවද වාර්තාවේ සඳහන්.













