ඕස්ට්‍රේලියාවට ණය වාරිකයක් ලෙස ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක (මිලියන 2.5ක) මුදලක් වංචනික පාර්ශ්වයක අතට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් සහ මහ බැංකු අධිපතිවරයා ලබන 30 වැනිදා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) හමුවට කැඳවා තිබේ.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ එම කාරක සභාව මෙම තීරණය ගෙන ඇත. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී සිදුව ඇති මෙම බරපතළ දෝෂය පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත මෙම පියවර ගෙන තිබේ. මහා භාණ්ඩාගාරයට අයත් මෙතරම් විශාල මුදලක් බැහැර වීමේදී අනුගමනය කළ ක්‍රියා පටිපාටිය සහ ඒ සම්බන්ධයෙන් ලැබුණු පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසීමට නියමිතය.














