ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ඇතැම් ඩිපෝ පාඩු ලැබීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඒවා ග්‍රාමීය ප්‍රදේශවල පිහිටා තිබීම සහ එම නිසා දෛනික බස් සේවාවන් අවම වීම බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා වඩාත් ක්‍රමවත් මෙහෙයුම් රාමුවක් සකස් කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව, ශ්‍රී ලංගම බස් රථ පෙළේ පවතින දුර්වල තත්ත්වය හේතුවෙන් නිතර නිතර අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම මණ්ඩලය පාඩු ලැබීමට තවත් ප්‍රධාන හේතුවක් වී තිබේ.
ශ්‍රී ලංගම පවතින පුරප්පාඩු පිරවීම පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ජනවාරි 31 වන විට පැවති පුරප්පාඩු අතර රියදුරන් 1,034ක්, කොන්දොස්තරවරුන් 1,022ක්, කාර්මික නිලධාරීන් 429ක් සහ වැඩපොළ අධීක්ෂකවරුන් 59ක් සිටි බවයි. පසුගිය බදාදා (10) වන විට රියදුරු පුරප්පාඩු සංඛ්‍යාව 647 දක්වාත්, කොන්දොස්තර පුරප්පාඩු සංඛ්‍යාව 770 දක්වාත් අඩු කර ගැනීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, කාර්මික නිලධාරීන් සහ වැඩපොළ අධීක්ෂකවරුන්ගේ පුරප්පාඩු සංඛ්‍යාවේ වෙනසක් සිදුවී නොමැති බව ඔහු සඳහන් කළේය.
ඉතිරි පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කඩිනමින් සිදු කිරීමට පියවර ගනිමින් පවතින බවත්, වැටුප් විෂමතා නිරාකරණය කිරීම සහ සේවකයන් ස්ථිර කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ දැනටමත් අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ද රජය සැලසුම් කර ඇත.
















