ඉන්දියාවේ සිට නීතිවිරෝධි ලෙස මෙරටට මත්පෙති ඇතුළු භාණ්ඩ තොගයක් රැගෙන එමින් තිබූ ඩිංගි යාත්‍රාවක්, අධික සුළං සහ සැඩ පහරට හසුව නොරොච්චෝල පොලිස් බලප්‍රදේශයට අයත් ආලංකුඩාව මුහුදු තීරයේදී පෙරළී ගොස් තිබේ.
අදාළ යාත්‍රාව මුහුදේ පාවෙමින් තිබියදී ආලංකුඩාව නාවික හමුදා මුරපොළේ නිලධාරීන් විසින් පෙරේදා (10) සොයාගෙන කල්පිටිය විජය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇත. යාත්‍රාව පෙරළෙන අවස්ථාවේ එහි සිටි සැකකරුවන් පලාගොස් ඇති බව නාවික හමුදාව පවසයි.
යාත්‍රාවේ තිබී සොයාගත් භාණ්ඩ තොගයට රුපියල් මිලියන 177ක් පමණ වටිනා මත් කරල් තුන් ලක්ෂ පනස් හතර දාහක් (354,000), උර පහක අසුරන ලද බීඩි කොළ කිලෝ 177ක් සහ වටිනාකම තක්සේරු නොකළ විවිධ ඖෂධ වර්ග (පෙති, ආලේපන සහ එන්නත් වර්ග) ඇතුළත් වේ.
මේ වන විට සොයාගත් සියලුම නීතිවිරෝධී භාණ්ඩ තොගය කල්පිටිය පොලීසිය වෙත භාර දී ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා කල්පිටිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.
















