ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම වාර්තාවට අනුව, 2026 වසරේ ජූලි මාසයේදී මෙරට ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 142ක හිඟයක් වාර්තා කර ඇති අතර, එය වසර තුළ පිට පිටම ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වූ සිව්වැනි මාසය ලෙස සටහන් වේ. මහ බැංකු දත්තවලට අනුව 2026 වසරේ අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 552.2ක ද, මැයි මාසයේදී ඩොලර් මිලියන 194.5ක ද සහ ජූනි මාසයේදී ඩොලර් මිලියන 148.7ක ද වශයෙන් ජංගම ගිණුමේ හිඟයන් වාර්තා වී තිබුණි.
ඒ අනුව, 2026 වසරේ ජනවාරි සිට ජූලි දක්වා වූ මුල් මාස හතක කාලය තුළ ජංගම ගිණුමේ සමස්ත හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 387ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අපනයන ආදායමට වඩා ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාම මෙම තත්ත්වයට සෘජුවම බලපා ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි. වෙළෙඳ ගිණුමේ හිඟය පිළිබඳව සලකා බැලීමේදී, 2025 වසරේ ජනවාරි – ජූලි කාලසීමාව තුළ ඩොලර් මිලියන 3,850ක්ව පැවති හිඟය, 2026 වසරේ එම කාලසීමාව වන විට ඩොලර් මිලියන 6,507ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. භාණ්ඩ අපනයනයෙන් ලැබෙන ආදායම අභිබවා ආනයන සඳහා වැය වන පිරිවැය ඉහළ යාම මෙම ආර්ථික පීඩනයට ප්‍රධානතම හේතුව වී ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.














