ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින්, කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රේගු මූලස්ථානයේදී අද පැවැත්වීමට නියමිතය. දශක ගණනාවක් පුරා සාම්ප්‍රදායික ලිපි ලේඛන සහ බරපතල පරිපාලනමය ක්‍රියාපටිපාටි මත යැපුණු මෙරට ආනයන හා අපනයන ක්ෂේත්රය ඩිජිටල්කරණය කරා යොමු කිරීමේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස මෙම නවීන ක්‍රමවේදය හැඳින්විය හැකි අතර, එය මෙරට වෙළඳ පහසුකම් සංවර්ධනයට සෘජුවම බලපානු ඇත.
මෙමඟින් රේගු නිෂ්කාශන ක්‍රියාවලියට ගතවන කාලය සහ අනවශ්‍ය ප්‍රමාදයන් අවම වනවා පමණක් නොව, රාජ්‍ය ආයතන තුළ දූෂණ හා මැඩලීම සඳහාත් ඩිජිටල් විනිවිදභාවය ඉහළ නැංවීමටත් දැවැන්ත පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගෝලීය වෙළඳපොළ සමඟ තරගකාරීවී රටේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින්, රේගු දෙපාර්තමේන්තුව වැනි ප්‍රධාන ආදායම් උපයන ආයතනයක් නවීන තාක්ෂණයට අනුගත වීම මෙරට ආර්ථික ප්‍රකෘතියට රුකුලකි.
ඉදිරියේදී මෙම කඩදාසි රහිත ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීමත් සමඟම ව්‍යාපාරික ප්‍රජාවට මුහුණදීමට සිදුවන පරිපාලනමය බාධක මගහැරී යනු ඇති අතර, ජාත්‍යන්තර වෙළඳ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ගැනීමටද එය මහත්බලපෑමක් වනු ඇත. තාක්ෂණික විප්ලවයකට මුහුණ දෙමින් රේගු ක්‍රියාවලි ඩිජිටල්කරණය කරා ගෙනයාම මගින් මෙරට ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ රජයේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට මෙන්ම ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට නව මාවතක් විවර වනු ඇත.
















