මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ ඔත්තුකරුවන් සඳහා රුපියල් කෝටි 3,726 ක මුදලක් 2012 සිට 2025 දක්වා වසර දාහතරක කාලයේදී ත්‍යාග මුදල් වශයෙන් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
එසේම ශ්‍රී ලංකා රේගුවේ විමර්ශන කාර්යයන්ට සෘජුව දායකත්වය නොසැපයන අංශ 18ක නිලධාරීන්ටද ත්‍යාග මුදල් වශයෙන් කෝටි 65 කට ආසන්න මුදලක් බෙදා හැර තිබූ බව එම වාර්තාවේ දැක්වේ. ත්‍යාග අරමුදලින් ත්‍යාග මුදල් බෙදාහැරීම මුදල් අමාත්‍යවරයා අනුමත කළ යෝජනා ක්‍රමයකට අනුව කළ යුතු වුවත්, එසේ එකඟතාවක් නොගෙන 2012 වසරේ සිට 2025 වසර දක්වා වසර 14ක කාලය තුළ නිලධාරීන්ට රුපියල් කෝටි 3,184කට වැඩි මුදලක්ද, ඔත්තුකරුවන් සඳහා රුපියල් කෝටි 542කට වැඩි මුදලක්ද මෙසේ බෙදා හැර තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
මේ අතර රාජ්‍ය ආයතනවල සියලු නිලධාරීන් ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යයෙන්ම භාවිත කළ යුතු බවට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර තිබියදී, එසේ කටයුතු නොකර අතිකාල වියදම් ලෙස රුපියල් කෝටි 143කට ආසන්න මුදලක් ගෙවා තිබූ බව විගණන නිලධාරීහු පවසති. මීට අමතරව නැව් බඩු පරීක්ෂා කිරීමේ ගාස්තු ලෙස රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක්ද, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ගාස්තු ලෙස රුපියල් කෝටි එක්කෝටි විසි නව ලක්ෂයකට වැඩි මුදලක්ද පැමිණීම සහ පිටවීම විධිමත් ලෙස තහවුරු කර ගැනීමකින් තොරව නිලධාරීන්ට ගෙවා තිබේ.
භාණ්ඩ ආනයන හා අපනයන ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශ්වයන් 2022 සිට 2024 වර්ෂය දක්වා කාලයේදී අවස්ථා 100කදී රුපියල් කෝටි 256 කට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර තිබූ බව පවසන විගණන වාර්තාව, රේගුව මේ සම්බන්ධයෙන් විමර්ශනය කර රුපියල් කෝටි 300කට ආසන්න දඩ මුදලක් අයකරගෙන තිබුණද, රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 90කට ආසන්න මුදලක් පමණක් බැර කිරීමෙන් රුපියල් කෝටි 166කට වැඩි බදු ආදායමක් රජයට අහිමිව තිබූ බව පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී රේගු ප්‍රධානියකු පැවසුවේ රේගුවේ අක්‍රමිකතා අවම කිරීමට නව පරිපාලනය යටතේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.














