ශ්‍රී ලංකා රේගුව විසින් ඔක්තෝබර් 1 වන දින සිට අනිවාර්ය කිරීමට නියමිතව තිබූ කඩදාසි රහිත රේගු ප්‍රකාශන (CusDec) ක්‍රියාවලිය, ඩිජිටල් අත්සන් (digital signatures) ලබා ගැනීමට මුහුණපා ඇති අපහසුතා හේතුවෙන් කල් දමන ලෙස වෙළඳ ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීම් මත දීර්ඝ වීමට ඉඩ ඇති බව වාර්තා වේ.
‘ද සන්ඩේ මෝනිං බිස්නස්’ (The Sunday Morning Business) වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, වර්තමාන ක්‍රමය තුළ ලේඛනවලට ඩිජිටල් අත්සන් යෙදවීමේ පහසුකම් නොමැති වීම හේතුවෙන් භාණ්ඩ බාරගන්නන්ට තවදුරටත් භෞතිකව අත්සන් කළ ලේඛන ඉදිරිපත් කිරීමට සිදුව ඇති බවයි. මෙම නව ක්‍රමය යටතේ ඉදිරිපත් කෙරෙන සියලුම ලේඛන ‘ලංකාසයින්’ (LankaSign) හරහා ඩිජිටල් ලෙස අත්සන් කිරීම අනිවාර්ය කෙරෙන අතර, ඒ හරහා භෞතික ලේඛන භාරගැනීම සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට නියමිතය.
මීට අමතරව, රේගුවේ දැනට පවතින ‘AsycudaWorld’ පද්ධතියේ ධාරිතාව ඉක්මවා යාමේ අවදානමක් පවතින බැවින්, අවදානම් කළමනාකරණය සහ නවීන පහසුකම් සහිත නව ‘ASY5’ පද්ධතිය වෙත යාවත්කාලීන කිරීමට ද රේගුව සැලසුම් කරමින් සිටී. මෙම අනිවාර්ය කිරීමත් සමඟ ඔක්තෝබර් 1 වන දින සිට අතින් ලේඛන සැකසීම සහ ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට මුලින් නියම කර තිබුණි.
















