ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) හිමිවූ තෙල් ටැංකි 24න් ටැංකි දෙකක සංවර්ධන කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර තිබේ.
මෙම ටැංකි දෙකෙහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලීම සඳහා අත්හදා බැලීමේ පදනමක් මත සංවර්ධනය කර ඇති අතර, දැනට සිදුකෙරෙන පරීක්ෂණ මඟින් එම සංවර්ධනය සාර්ථක වී ඇති බව තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ ‘ද සන්ඩේ මෝනිං බිස්නස්’ (The Sunday Morning Business) වෙත අනාවරණ කර ඇත. ඉතිරි ටැංකි සංවර්ධනය කිරීම සඳහා තවත් ටැංකි තුනක් වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති අතර, ඒවායේ ලංසු ඇගයීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.
මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන ටැංකි පහ අදියර වශයෙන් ක්‍රියාත්මක වන අතර, නව ජැටියක (jetty) ඉදිකිරීම් අවසන් වීමෙන් පසු අදාළ තෙල් ටැංකිවල වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. 2022 ජනවාරි 4 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු මෙම ව්‍යාපෘතිය යටතේ, තෙල් ටැංකි 99න් ටැංකි 24ක් ඛනිජ තෙල් සංස්ථාවටත්, ටැංකි 14ක් ලංකා IOC (LIOC) සමාගමටත්, ඉතිරි ටැංකි 61ක් බදු පදනම මත ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්’ (TPTL) සමාගමටත් ලබා දී ඇත.
















