2026 වසරේ පළමු මාස හය (ජනවාරි – ජූනි) තුළ බදු ආදායම ලෙස රුපියල් බිලියන 1,373ක වාර්තාගත මුදලක් එක්රැස් කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ. ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, මෙය වසරේ මුල් මාස හය සඳහා ලබාදී තිබූ බදු ඉලක්කයට වඩා සියයට 22ක කැපී පෙනෙන ඉහළ යාමක් බවයි.
මෙම වසර (2026) සඳහා රජය විසින් රේගුව වෙත ලබා දී ඇති සමස්ත බදු ඉලක්කය රුපියල් බිලියන 2,206.9කි. ඒ අනුව වසරේ මුල් මාස හය ඇතුළත රැස්කරගත යුතුව තිබුණේ රුපියල් බිලියන 1,060ක මුදලක් වුවද, රේගුව එම ඉලක්කය බිලියන 313කින් ඉක්මවා යෑමට සමත්ව ඇත. මේ වසරේදී මෙරටට මෝටර් රථ ආනයනය සීමා වී බදු ආදායම අඩුවනු ඇතැයි මුලින් අපේක්ෂා කළ ද, වාහන ආනයනය බලාපොරොත්තු වූ පරිදි අඩු නොවීම මෙම බදු ආදායම සීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















