මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා තහවුරු කරයි. මෙසේ මියගිය පිරිස අතර බන්ධනාගාර ජේලර්වරයෙක්, ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙක් ඇතුළු නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු වන බව වාර්තා වේ. රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් සහ දඬුවම් ලැබූ රැඳවියන් පිරිසක් අතර ඊයේ (05) ආරම්භ වූ මෙම ගැටුම අද (06) උදෑසන වනවිට යළිත් උත්සන්න වී තිබේ.
මෙම දරුණු මෝඩ ක්‍රියාව හේතුවෙන් තවත් බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබන අතර, ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ 18 දෙනෙකු කඩිනමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. බන්ධනාගාරයේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල කිරීමේ අරමුණින් කැරලි ගැසූ රැඳවියන් එහි තිබූ CCTV පද්ධති සහ බොඩි ස්කෑනර් යන්ත්‍ර ද සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ. මේ වනවිට තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මැදිහත් වී රැඳවියන් 700කට ආසන්න පිරිසක් දිවයිනේ වෙනත් ආරක්ෂිත බන්ධනාගාර 5ක් වෙත වහාම මාරු කර යැවීමට පියවර ගෙන ඇත.
















