පසුගිය කාලය තුළ වාහන ආනයනය පහත වැටීම හේතුවෙන් මේ මාසයේ රේගු බදු ආදායම යම් මට්ටමකින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි.
මේ මාසයේ රේගු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 190.2ක් වන අතර, මේ වන විට බිලියන 176.7ක් උපයා ගෙන තිබේ. ඉදිරි දින දෙක තුළ තවත් රුපියල් බිලියන 13ක ප්‍රමාණයක් සපයා ගැනීමට අවශ්‍ය වන අතර, එම ඉලක්කය සපුරාගත හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි. වෙනත් මාසවලදී ඉලක්කය ඉක්මවා ආදායම් උපයා ගැනීමට හැකි වුවද, මේ මාසයේ අමතර ආදායම් අවම වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වාහන ආනයනය සීමා වීමයි.
මාස තුනක කාලයකට වාහන සඳහා පනවා තිබූ අධිභාරය අගෝස්තු 15 වැනි දින අවසන් වීමට නියමිතව තිබූ බැවින්, වාහන ආනයනකරුවන් එම අධිභාරය අවසන් වන තෙක් බලා සිටිමින් වාහන ආනයනය කල් දැමීම මෙයට හේතු විය. කෙසේ වෙතත්, රජය විසින් වාහන අධිභාරය ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බැවින්, වාහන ආනයනකරුවන් යළිත් වාහන ගෙන්වීමට කටයුතු කරනු ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මීට අමතරව, විනිමය අනුපාත ඉහළ යාමද වාහන මිලට යම් බලපෑමක් ඇති කර තිබේ.
මේ අතර, මාස තුනකට වඩා පැරණි, මෙරටට ආනයනය කර මුදා නොගත් වාහන දහසකට අධික ප්‍රමාණයක් හම්බන්තොට වරායේ රඳවා තිබෙන බවත්, රේගු ආඥා පනත යටතේ ඒවා වෙන්දේසි කිරීමට හෝ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එහිදී රේගු ගාස්තු සහ ගුදම් ගාස්තු අය කර ගැනීමෙන් පසු ඉතිරි වන මුදලක් ඇත්නම් එය අදාළ ආනයනකරුට ලබා දීමට පියවර ගැනේ.
















