බන්ධනාගාර අභ්‍යන්තරයේ මතුවිය හැකි හදිසි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කිරීම අරමුණු කරගනිමින්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර බන්ධනාගාරය මුල් කරගනිමින් නව ඒකාබද්ධ වැඩපිළිවෙළක් නිල වශයෙන් එළිදක්වා තිබේ. දිවයිනේ සියලුම බන්ධනාගාර ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම වැඩසටහන හරහා ප්‍රාදේශීය මට්ටමින් රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතාවක් ගොඩනඟා ගනිමින්, හදිසි අවස්ථාවකදී තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය වන ඒකාබද්ධ ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අපේක්ෂා කෙරේ. මෑත කාලීනව බන්ධනාගාරගතව ඇති වන විවිධ අර්බුද හමුවේ ආරක්ෂක හා ප්‍රාදේශීය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැතිකම හේතුවෙන් ඇති වූ අභියෝග ජය ගැනීමට මෙමඟින් ප්‍රායෝගික විසඳුම් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.
මෙම සංචාරයේදී අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයේ කාන්තා අංශය, මුළුතැන්ගෙය සහ රිමාන්ඩ් සැකකරුවන් රඳවා ඇති කුටි ඇතුළු පරිශ්‍රය දැඩි නිරීක්ෂණයකට ලක් කළ අතර, එළිමහන් සිරකඳවුරේ රැඳවියන් අමතමින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සහ ගැටලු පිළිබඳවද සෘජුවම සොයා බැලීය. බන්ධනාගාර ආරක්ෂාව මෙන්ම මානුෂීය අයිතිවාසිකම් සහ සුබසාධනය සුරක්ෂිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ජල සම්පාදන මණ්ඩලය සහ සෞඛ්‍ය අංශ ඇතුළු ප්‍රාදේශීය රාජ්‍ය ආයතන රැසක උසස් නිලධාරීන්ගේ සහභාගීත්වය හිමිවීම විශේෂත්වයකි. බන්ධනාගාර පද්ධතිය තුළ පවතින සීමාවන් සහ ගැටලු හඳුනාගනිමින් ඒවාට ආයතන අතර සහයෝගයෙන් විසඳුම් සෙවීම මෙම ක්‍රමවේදයේ මූලික අරමුණ වී තිබේ.
















