කාම්බෝජයේ සිට දෙහිවල පිහිටි සමාගමක නමින් හොර රහසේ මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන 450කට අධික වටිනාකමින් යුත් දුම්වැටි ලක්ෂ 36ක් රේගු භාරයට ගෙන රාජසන්තක කිරීමට රේගුව පියවර ගෙන තිබේ. ඔරුගොඩවත්ත රේගු අංගණයේ තිබී සොයාගත් මෙම කන්ටේනරය පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් ලැබී ඇත.
අදාළ කන්ටේනරයේ ලිපිලේඛනවල ‘සීතල ගබඩා පැනල්’ (Cold Storage Panels) ලෙස සඳහන්ව තිබුණද, පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ චීන නිෂ්පාදිත දුම්වැටි කාටුන් 18,000ක බහා තිබී හමුවිය. මෙම දුම්වැටි වෙළෙඳපොළට නිකුත් වූයේ නම් රටට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 400කට අධික බව රේගුව සඳහන් කරයි.
මෙම ජාවාරම පිටුපස මෙරට වෙසෙන හෝ සේවය කරන චීන ජාතිකයින් පිරිසක් සම්බන්ධ බවට සැක කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් රේගුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
















