මැදපෙරදිග කලාපයේ හදිසියේ හටගත් යුදමය වාතාවරණයක් හේතුවෙන් කුවේට් සහ දමාම් බලා ගමන් ගත් ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකකට සිය ගමනාන්ත වෙත ළඟා වීමට නොහැකිව පැයකට අධික කාලයක් අහසේ සැරිසැරීමට සිදුවිය.
කටුනායක ගුවන් තොටුපළෙන් පෙරේදා (14) පස්වරුවේ පිටත්ව ගිය යූ.එල්.- 229 (කුවේට් බලා) සහ යූ.එල්.- 253 (දමාම් බලා) යන ඒ.- 321 නියෝ වර්ගයේ යානා දෙක කලාපය ආසන්නයට ළඟා වෙත්ම ඉරානය විසින් එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් හේතුවෙන් කුවේට් සහ සවුදි අරාබිය සිය ගුවන් අවකාශය වසා දැමීමට පියවර ගත්තේය.
ආපසු කටුනායක බලා පැමිණීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා මෙම යානා දෙක කලාපය ආසන්නයේ ඉහළ අහසේ පැය 01යි විනාඩි 10ක කාලයක් සැරිසැරූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පවසයි. ගුවන් අවකාශය විවෘත කළ වහාම නියමුවන් එම යානා දෙක ආරක්ෂිතව අදාළ ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා ඇති අතර, එම යානා දෙක ඊයේ (15) උදෑසන වන විට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම යුදමය වාතාවරණය හේතුවෙන් වෙනත් විදේශීය ගුවන් යානා රැසකටද අහසේ සැරිසැරීමට සිදුවූ බව වාර්තා වේ.
















