ශ්‍රී ලංකාව සඳහා වන සයිප්‍රස් ජනරජයේ නවදිල්ලියේ නේවාසික මහ කොමසාරිස් එවාගෝරාස් ව්‍රියොනයිඩීස් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර අමාත්‍යාංශයේදී විශේෂ හමුවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු විය.
රැකියා වෙළෙඳපොළ පුළුල් කිරීම – සයිප්‍රස් රාජ්‍යය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම හෙද සේවය, සංචාරක හා ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය, කෘෂිකාර්මික, ඉදිකිරීම් සහ නාවික ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා රැසක් පවතින බව ඔහු සඳහන් කළේය. මෙම අවස්ථා ලබාගැනීම සඳහා දෙරට අතර ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා පියවර ගෙන ඇත.
සමාජ ආරක්ෂණ දීමනාව (Social Security Benefits) – මීට පෙර සයිප්‍රස් රාජ්‍යයේ සේවය කර මෙරටට පැමිණි, වයස අවුරුදු 65 සම්පූර්ණ වූ ශ්‍රී ලාංකිකයන්ට හිමි විය යුතු සමාජ ආරක්ෂණ දීමනාව ලබා ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාගේ විශේෂ අවධානය යොමු කළේය. මෙම ගැටලුව කඩිනමින් විසඳීමට මැදිහත් වන බවට මහ කොමසාරිස්වරයා ප්‍රතිඥා දුන්නේය.
මෙම හමුවේදී සයිප්‍රස් රජය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාට එරට සංචාරයක නිරත වන ලෙස නිල වශයෙන් ආරාධනා කර සිටියේය.
















