ශ්‍රී ලංකාව සඳහා වන සයිප්‍රස් ජනරජයේ නවදිල්ලියේ නේවාසික මහ කොමසාරිස් එවාගෝරාස් ව්‍රියොනයිඩීස් (Evagoras Vryonides) මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර පැවැති නිල හමුවකදී, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලාංකිකයන් සඳහා සයිප්‍රසයේ රැකියා වෙළෙඳපොළ පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු විය.
සයිප්‍රස් මහ කොමසාරිස්වරයා සඳහන් කළේ, හෙද සේවය, සංචාරක හා ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය, කෘෂිකාර්මික, ඉදිකිරීම් සහ නාවික ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන් සඳහා සයිප්‍රසයේ විශාල ඉල්ලුමක් පවතින බවයි. මෙම රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකිකයන්ට ලබාගැනීමට හැකි වන පරිදි අවශ්‍ය ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම, සයිප්‍රස් රාජ්‍යයේ සේවය කර මෙරටට පැමිණි වයස අවුරුදු 65 සම්පූර්ණ වූ ශ්‍රී ලාංකිකයන්ට හිමි විය යුතු “සමාජ ආරක්ෂණ දීමනාව” ලබා ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කළේය. අගතියට පත් විශාල පිරිසක් වෙනුවෙන් අමාත්‍යවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහ කොමසාරිස්වරයා පොරොන්දු වූයේ, එම ගැටලුව කඩිනමින් විසඳීමට මැදිහත් වන බවයි.
තවද, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වෙත සයිප්‍රස් රාජ්‍යයේ සංචාරයක නිරත වන ලෙස මහ කොමසාරිස්වරයා විසින් ආරාධනා කර ඇත.
















