පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින්, පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී මේ බව අනාවරණය විය.
පෙර පාසල් සඳහා පොදු විෂයමාලා රාමුවක් සකස් කර ඇති අතර, ඒ ආශ්‍රිත ගුරු අත්පොත සහ ආදර්ශ ක්‍රියාකාරකම් පොත අගෝස්තු මාසයේදී එළිදැක්වීමට නියමිතය. ජාතික අධ්‍යාපන ආයතනය හරහා ප්‍රධාන පුහුණුකරුවන් 108 දෙනෙකු සහ පළාත් මට්ටමින් පුහුණුකරුවන් 556 දෙනෙකු පුහුණු කිරීමට සැලසුම් කර ඇත. දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරුන් 35,000කට නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී දින 10ක විශේෂ පුහුණුවක් ලබා දෙනු ඇත. තවද පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පනතක් බවට පත් කිරීමටත්, ඇගයීම් හා නියාමන රාමුවක් සකස් කිරීමටත් අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහනේදී ළමා ආරක්ෂාව සහ ‘ධනාත්මක විනය’ පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කෙරිණි. දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරමින් ශාරීරික දණ්ඩන අහෝසි කිරීමට යෝජනා වී ඇත. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අත්සන් තැබූ රටක් ලෙස, දරුවන්ට සිදුවන කායික හා මානසික හිංසනය වැළැක්වීමට ජාත්‍යන්තරව බැඳී සිටින බැවින් මෙම නෛතික සංශෝධනවල වැදගත්කම නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අවධාරණය කළේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි උපරිම පියවර ගන්නා බවයි. මෙම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන, කාන්තා හා ළමා කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ඇතුළු ආයතන රැසක් දායක වී තිබේ.
















