ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් සහ නිලධාරීන් කාලෝචිත පියවර නොගැනීම සහ වෛරස් කාණ්ඩයේ නැවත මතුවීම ප්‍රධාන හේතුවක් වී ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හැරීම: ජනවාරි මාසයේ සිට ඩෙංගු මදුරු කීට ඝනත්වය (බිටෝ දර්ශකය – Breteau Index) වර්ධනය වෙමින් පැවති අතර, අප්‍රේල් මාසය වන විට බොහෝ ප්‍රදේශවල එය 25% ඉක්මවා ගොස් තිබුණි. මෙම තත්ත්වය පිළිබඳව පූර්ව දැනුම් දීම් කළ ද, අදාළ ප්‍රාදේශීය බලධාරීන් සහ නිලධාරීන් තීන්දු තීරණ ගැනීමට ප්‍රමාද වීම වසංගත තත්ත්වය වර්ධනය වීමට හේතු වී ඇත. 2017 වසරේ පැවති වෛරස් කාණ්ඩයම 2026 වසරේදී නැවත පැමිණීම නිසා, ජනතාව තුළ ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් නොමැති වීම ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමට තවත් හේතුවක් වී ඇත.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මියට අනුව, 2026 වසරේ මේ දක්වා කාලය තුළ
සමස්ත රෝගීන් සංඛ්‍යාව 45,037
වාර්තා වූ මරණ 28
අධි අවදානම් දිස්ත්‍රික්ක කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල සහ නුවරඑළිය.
රෝගය පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවන ස්ථාන පරිසරයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. තම නිවෙස් සහ අවට පරිසරය පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කර, මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමට සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බව වෛද්‍ය විශේෂඥවරු වැඩිදුරටත් ඉල්ලා සිටිති.
















