ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නැවතත් දරුණු යුද තර්ජනයක් සිදු කර තිබේ. ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සාම සාකච්ඡා අතරතුරදී මෙම උණුසුම් වාතාවරණය නිර්මාණය වී ඇත.පසුගිය සතියේ එළඹි අවබෝධතා ගිවිසුම යටතේ, දෙරට අතර යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන නිලධාරීන් අතර පළමු සාකච්ඡාව ස්විට්සර්ලන්තයේ පැවැත්වේ. මෙම ගිවිසුම හරහා අප්‍රේල් මාසයේ සිට පැවති සටන් විරාමය තවත් දින 60කින් දීර්ඝ කිරීමට අපේක්ෂා කෙරේ. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ලෙබනනයේ යුද්ධය නැවැත්වීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණු විය. කෙසේ වෙතත්, ලෙබනනයේ සටන් නැවැත්වීමට ඇමරිකාව අපොහොසත් වූ බව පවසමින්, ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ගමනාගමනය නැවත වරක් නතර කර තිබේ.ඉරානයට එරෙහිව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සහ මාධ්‍ය හරහා දැඩි අනතුරු ඇඟවීමක් කළ ජනාධිපති ට්‍රම්ප්, ලෙබනනයේ සිටින ඉරාන ගැති කණ්ඩායම් ප්‍රශ්න ඇති කිරීම වහාම නැවැත්විය යුතු බව ප්‍රකාශ කළේය. “ඔවුන් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත්, ඔවුන්ට රටක් ඉතිරි නොවන පරිදි පසුගිය සතියට වඩා දරුණු ප්‍රහාර එල්ල කරනවා” යැයි ඔහු පවසා ඇත. එසේම, එම මුහුදු මාර්ගයේ පාලනය තමන් යටතට ගන්නා බවටද ඔහු අනතුරු අඟවා තිබේ.පැවැත්වෙන සාකච්ඡාවලදී ඉරානය අවධාරණය කරන්නේ තමන් න්‍යෂ්ටික වැඩසටහන වැනි ප්‍රධාන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් නොමැති බවයි.ගෝලීය බලශක්ති සැපයුමට තීරණාත්මක වන හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් දෙරට අතර පවතින මෙම උණුසුම් වාතාවරණය, කලාපීය සාමය කෙරෙහි දැඩි අවිනිශ්චිතතාවක් ඇති කර තිබේ.
















