22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඊට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය භාවිත කරන ලෙස සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම සංශෝධනය රටට සහ ජනතාවට යහපතක් සිදුකරන්නේද යන්න තීරණය කිරීම මන්ත්‍රීවරුන්ගේ හෘදසාක්ෂියට පැවරෙන කරුණක් බවයි.
ස්වාධීන අධිකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වෙනුවෙන් මීට පෙර පෙනී සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට එම මූලධර්ම අනුව කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා තිබෙනවා. පක්ෂයේ උපදෙස්වලට පමණක් සීමා නොවී ජනතාවට ලබාදුන් පොරොන්දු සිහිපත් කරමින් තීරණය ගත යුතු බවද ලිපියේ සඳහන්.
එමෙන්ම සංශෝධනයට එරෙහිව ඡන්දය භාවිත කිරීම හෝ ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් ඡන්දය දීමෙන් වැළකී සිටීම පිළිබඳව මන්ත්‍රීවරුන් තම හෘදසාක්ෂිය අනුව තීරණය කරනු ඇතැයි දිලිත් ජයවීර මහතා අපේක්ෂා පළ කර තිබෙනවා.
















