ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි සහ රෙගුලාසි හේතුවෙන් රන් ආනයන බදු සඳහා ක්ෂණික සහන ලබා දීම අපහසු වී ඇති තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය හිඟයට විසඳුමක් ලෙස දේශීය රන් පිරිපහදුවක් පිහිටුවීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.
FACETS ශ්‍රී ලංකා 2027 ප්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. පී. චමින්ද මහතා පැවසුවේ, රත්තරන් හුදෙක් කාර්මික අමුද්‍රව්‍යයක් ලෙස පමණක් නොව මූල්‍ය සංචිත වත්කමක් ලෙසද භාවිතා වන බැවින්, දැනට පවතින IMF වැඩසටහනේ සාර්ව ආර්ථික පරාමිතීන් යටතේ රන් බදු අඩු කිරීම රජයට දැඩි අභියෝගයක් බවයි.
මෙම ඉහළ බදු ගාස්තු මග හැරීම සඳහා විකල්ප විසඳුමක් ලෙස, ආයෝජන මණ්ඩල (BOI) ව්‍යාපෘතියක් ලෙස දේශීය රන් පිරිපහදුවක් ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. මෙම පහසුකම හරහා ද්විතීයික හෝ මිශ්‍ර ලෝහ ආනයනය කර දේශීයව පිරිපහදු කිරීම මගින් ස්වර්ණාභරණ නිෂ්පාදකයින්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමටත්, මහ බැංකුවට රන් සැපයීමටත්, නැවත අපනයනය සඳහා අගය එකතු කිරීමටත් අපේක්ෂා කෙරේ.
















