ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO C189) ගෘහස්ත කම්කරු සම්මුතියට අත්සන් තබා වසර 15ක් සපිරීම නිමිත්තෙන්, වතුකරයේ සේවයේ නියුතු ගෘහස්ත කම්කරුවන් පිරිසක් හැටන් නගරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් තම අයිතිවාසිකම් තහවුරු කරන ලෙස රජයට බල කර සිටී. පොටෙක්ට් (PROTECT) සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම මාධ්‍ය හමුවේදී ඔවුන් අවධාරණය කළේ, ලොව බොහෝ රටවල කම්කරුවන් මෙම දිනය ජයග්‍රහණ සැමරීම වෙනුවෙන් වෙන් කළද, ශ්‍රී ලංකාවේ ගෘහස්ත කම්කරුවන් තවමත් තම මූලික අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් අඛණ්ඩ සටනක නිරතව සිටින බවයි.
පොටෙක්ට් සංවිධානයේ සභාපතිනී කරුපයියා මෛයිතිලි මහත්මිය එහිදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, 2011 වසරේදී ශ්‍රී ලංකාවට හිමි වූ මෙම ජාත්‍යන්තර සම්මුතිය තුළින් ගෘහස්ත කම්කරුවන්ගේ රැකියා ගැටලු විසඳීම සහ ගෞරවනීය රැකියාවක් (Decent Work) සඳහා වන අයිතිය තහවුරු කිරීමට මඟ පෙන්වා ඇති බවයි. කෙසේ වෙතත්, වසර 15ක් ගත වුවද රජය ඒ පිළිබඳව කිසිදු සාධනීය අවධානයක් යොමු නොකිරීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බවත්, මෙය සැමරිය යුතු දිනයක් නොව අයිතිවාසිකම් ඉල්ලා සිටින උද්ඝෝෂණ දිනයක් බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මෙම මාධ්‍ය හමුවේදී ගෘහස්ත කම්කරුවන් වෙනුවෙන් ප්‍රධාන ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කෙරිණි. ILO C189 සම්මුතිය ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක කිරීම, යෝජිත නව කම්කරු නීති සංශෝධනවලට ගෘහස්ත කම්කරුවන් ඇතුළත් කිරීම සහ හිෂාලිනි රාජකුමාරි වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම ඒ අතර ප්‍රධාන වේ. මීට අමතරව, ගෘහස්ත කම්කරුවන් සඳහා අවම වැටුපක් නීතිගත කිරීම, සේවක අර්ථසාධක අරමුදල් (EPF/ETF) සහ වැටුප් සහිත නිවාඩු අයිතිය තහවුරු කිරීම ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් අතර පවතී.
















