පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත් වූ ගොවීන් සහ ඔවුන්ට සිදුවී ඇති අස්වනු හානි පිළිබඳ තොරතුරු රැස්කිරීම ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසයි.
‘ද සන්ඩේ මෝනිං’ වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ අගතියට පත් සියලුම ගොවීන් සඳහා වන්දි ලබා දීමට කටයුතු කරන බවයි. ඒ සඳහා රජය විසින් මූලික රක්ෂණ වන්දි වශයෙන් රුපියල් බිලියන 3ක මුදලක් වෙන් කර ඇති අතර, එම මුදල ප්‍රමාණවත් නොවුණහොත් අතිරේක අරමුදල් ලබා දීමටද කටයුතු කරන බව ඔහු තහවුරු කළේය. මීට අමතරව, 2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සහ සමුපකාර සංගම් සඳහා රුපියල් මිලියන 25 දක්වා වූ පොලී රහිත සහනදායී මූල්‍ය ක්රමයක්ද රජය විසින් හඳුන්වා දී තිබේ.














