අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ e-Courts ව්‍යාපෘතිය යටතේ කොළඹ සුළු හිමිකම් අධිකරණය සඳහා හඳුන්වා දුන් විද්‍යුත් නඩු ගොනු කිරීමේ පද්ධතිය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සැප්තැම්බර් 23 වැනිදා පස්වරුවේ නිරීක්ෂණය කර තිබෙනවා. එම අධිකරණයේ ප්‍රථම විද්‍යුත් නඩු ගොනුව ගුණවර්ධන මහත්මිය නම් නීතිඥවරියක විසින් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහයෝගයෙන් සංවර්ධනය කළ මෙම පද්ධතිය මඟින් නීතිඥවරුන්ට පැය 24 පුරා අධිකරණ ලේඛන මාර්ගගතව ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි නීතිඥවරුන්ට කොළඹ දිසා අධිකරණයේ නිල වෙබ් අඩවිය හරහා මෙම සේවාවට පිවිසිය හැකි අතර, ලේඛන ගොනු කිරීම සඳහා අධිකරණයට භෞතිකව පැමිණීමේ අවශ්‍යතාව සහ කඩදාසි භාවිතය අවම කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණක් වනවා.
ඉදිරියේදී අනෙකුත් නඩු වර්ග සහ කොළඹින් පිටත අධිකරණ සඳහා ද මෙම පහසුකම අදියරෙන් අදියර පුළුල් කිරීමට සැලසුම් කර තිබෙනවා. අධිකරණ කටයුතු වාර්තා කිරීම සඳහා හඬ මඟින් යතුරු ලියනය කිරීමේ පහසුකම් සහ නඩු කටයුතුවල සහතික පිටපත් මාර්ගගතව නිකුත් කිරීම ඇතුළු තවත් තාක්ෂණික පහසුකම් හඳුන්වා දීමට ද අපේක්ෂා කෙරෙනවා.














