මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වීම හේතුවෙන් ආසියා-පැසිෆික් කලාපයේ දරුණුතම බලපෑමට ලක්වූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පවසයි. 2026 අප්‍රේල් 16 වන දින ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක් මගින් මේ බව පෙන්වා දී තිබේ.
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මෙරට තේ අපනයනයට සතියකට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ත් 15ත් අතර අලාභයක් සිදුවෙමින් පවතී. එමෙන්ම 2026 මාර්තු මාසයේ මුල් සතිය වන විට සංචාරක පැමිණීම සියයට 40කින් පමණ පහත වැටී ඇති බව වාර්තාව පෙන්වා දෙයි. 2025 වසරේ විදේශගත වූ ශ්‍රමිකයන්ගෙන් සියයට 80.2ක්ම මැදපෙරදිග සේවය කරන බැවින්, මෙම අර්බුදය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායමට ද ඉහළ අවදානමක් ඇති කර තිබේ.
ඉන්ධන, ආහාර සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම නිසා සමස්ත ආසියා-පැසිෆික් කලාපයේ මිලියන 8.8ක පමණ ජනතාවක් අලුතින් දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක් පවතින බව UNDP වාර්තාව අවධාරණය කරයි. විශේෂයෙන්ම ආනයන මත යැපෙන සහ මැදපෙරදිග ශ්‍රමිකයන්ගෙන් ආදායම් ලබන ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවල් මේ හරහා වඩාත් දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්විය හැකි බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.













