ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ දරුණු ආර්ථික හා ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී වසර කිහිපයක් ගතවන තැන්හි, ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂිත මට්ටමින් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් 2022 අර්බුදයට පෙර වාර්තා වූ සමස්ත ආර්ථික ප්‍රමාණය සහ ඒක පුද්ගල ආදායම කරා රට ක්‍රමයෙන් ළඟා වෙමින් ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙයි. අර්බුදයෙන් පසු අඛණ්ඩව තුන්වන වසරටත් ධනාත්මක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට රට සමත්වී ඇති බව අවධාරණය කළේය.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ විශේෂ රැස්වීමකදී මෙම අදහස් පළ කළ අතර, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය වසරේ දෙවන භාගයේදී ආර්ථිකයට යම් බලපෑමක් එල්ල කළ හැකි වුවද, අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් පුළුල් වන නිෂ්පාදන ධාරිතාව මත මෙම වසරේ සමස්ත ආර්ථික වර්ධනය සියයට හතරත් පහත් අතර අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. එපමණක් නොව, ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ වාණිජ ණය හිමියන්ගේ ශක්තිමත් සහාය මත ජංගම ගිණුම අතිරික්තයක් බවට පත්වෙමින් රටේ බාහිර මූල්‍ය අංශය ස්ථාවරත්වයට පත්වීම ජාත්‍යන්තර ප්‍රජාවගේද පැසසුමට ලක්ව ඇත.
ඉදිරි දශකය සඳහා වන ණය සේවා බැඳීම් සාර්ථකව ප්‍රතිව්‍යුහගත කර ගැනීමට ලැබීම මෙරට මූල්‍ය ස්ථාවරත්වයේ හැරවුම් ලක්ෂයක් වන අතර, ක්‍රියාකාරී මහ බැංකු මුදල් ප්‍රතිපත්තිවල මැදිහත්වීම හරහා 2027 පළමු භාගය වන විට උද්ධමනය අපේක්ෂිත සියයට පහේ ඉලක්කය වෙත ගෙන ඒමට පුරෝකථනය කර තිබේ. දරුණු මූල්‍ය අර්බුදයකින් පසු වේගවත්ම ප්‍රකෘතියක් අත්කරගත් ආදර්ශවත් රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ලබන පිළිගැනීම තවදුරටත් තහවුරු කරමින්, අඛණ්ඩ ප්‍රතිසංස්කරණ මගින් රටේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ඉදිරියටත් සුරක්ෂිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














