ශ්‍රී ලංකාවේ අපනයන අභිමුඛ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ අපනයන සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කවුළුව (IPD) අතර නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
2019 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් තහවුරු කරමින් අත්සන් තැබුණු මෙම ගිවිසුම හරහා උපාය මාර්ගික සහයෝගීතාව, වෙළෙඳ ප්‍රවර්ධන සේවා, අපනයනකරුවන් සංවර්ධනය කිරීම සහ ආයතනික ධාරිතා වර්ධනය වැනි අංශ කෙරෙහි අවධානය යොමු කෙරේ. මීට අමතරව, යුරෝපීය වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා අපනයනකරුවන් අතර ව්‍යාපාරික ගැලපීම් (Matchmaking) සහ තිරසාර සබඳතා ඇති කිරීම, අපනයන ක්ෂේත්‍රයේ නියුතු කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සහ ස්වභාවික අමුද්‍රව්‍ය අංශය ඇතුළු ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, පුහුණුව සහ වෙළෙඳපොළ බුද්ධි තොරතුරු ලබා දීම මෙහි අරමුණයි.
මෙම අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා, IPD හි ප්‍රධානී ආචාර්ය ජූලියා බෙලින්හවුසන් මහත්මිය ඇතුළු දෙපාර්ශ්වයේම උසස් නිලධාරීන් සහභාගී විය. යුරෝපීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ගේ තරඟකාරිත්වය ඉහළ නැංවීමට සහ දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ගිවිසුම මහඟු පිටුවහලක් වනු ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.














