පුරවැසි ආචාරධාර්මික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සහ ‘ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ගොඩනැගීමේ ජාතික මෙහෙයුමේ කොටසක් ලෙස, එළඹෙන ජූලි 27 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලසීමාව ‘සුපිළිපන් සතිය’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව සියලුම රාජ්‍ය ආයතන වෙත අති විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. මෙම චක්‍රලේඛයට අනුව, ප්‍රකාශිත සතියේ සිට අඛණ්ඩව ඉදිරියටම මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක විය යුතුය.
සමස්ත රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යූහයක් ස්ථාපිත කිරීම රජයේ ප්‍රමුඛ අභිලාෂයයි. මෙම උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්, සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවාවක්, මානව ගරුත්වයෙන් පිරි සුපිළිපන් සමාජයක්, සුපිළිපන් පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයක් මෙන්ම සුපිළිපන් තිරසාර හරිත සංස්කෘතියක් යන සුවිශේෂී තේමාවන් ඔස්සේ මෙම ප්‍රජා සත්කාරක ජාතික වැඩසටහන සුපිළිපන් සතිය පුරා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.














