මැතිවරණය සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ.
මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා විශේෂ කාරක සභාව විසින් පත්කරන ලද විද්වත් කමිටුව විසින් අදාළ වාර්තාව කාරක සභා සභාපති, රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා වෙත භාර දුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මැතිවරණ ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව, විවිධ ආයතන සහ සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 31ක් මෙන්ම මීට පෙර පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තා ද මෙහිදී ගැඹුරින් සමාලෝචනය කර ඇත. අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවද පුරවැසියන්ට නව යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඉදිරිපත් වූ යෝජනා සමාලෝචනය කර මාස දෙකක් ඇතුළත අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්යවරයා සඳහන් කළේය.














