ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති කාර්යාලයේ සංවිධානයෙන්, ස්වීඩන් පාසල් සිසුන් පිරිසක් වෙත මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රකට ළමා නවකතාවක් වන ‘මඩොල් දූව’ කෘතියේ ස්වීඩන් පරිවර්තනය හරහා ශ්‍රී ලාංකීය සාහිත්‍යය සහ සංස්කෘතිය හඳුන්වා දීමේ විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.
නවීන සිංහල සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය නිර්මාණ තරුණ ස්වීඩන් පාඨකයන්ට සමීප කරවීම සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය පිළිබඳ අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.
වැඩසටහන අතරතුර දරුවන්ට ‘මඩොල් දූව’ කතාවේ චරිත සහ එහි අන්තර්ගත සංස්කෘතික අංග පිළිබඳව හඳුන්වාදීමක් සිදු කර ඇත. අනතුරුව කෘතිය ස්වීඩන් භාෂාවට පරිවර්තනය කළ පරිවර්තක ප්‍රියංවදා එම්. බණ්ඩුවර්ධන මහත්මිය විසින් ග්‍රන්ථයෙන් පරිච්ඡේදයක් කියවා ඇති අතර, සිසුන් සමඟ අන්තර්ක්‍රියාකාරී සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
එමෙන්ම නවකතාවෙන් ආභාෂය ලැබූ නිර්මාණාත්මක චිත්‍ර ඇඳීමේ සැසියකටද දරුවන් සහභාගී වී ඇති අතර, වැඩසටහන අවසානයේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය තේ සහ සංග්‍රහයක් ලබාදෙමින් ශ්‍රී ලංකීය ආගන්තුක සත්කාරය අත්විඳීමටද ඔවුන්ට අවස්ථාව සලසා දී ඇත.
ස්වීඩනය තුළ ශ්‍රී ලාංකීය සාහිත්‍යය හා කලාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
















