2026 ජගත් පරිසර දින ජාතික සැමරුම ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අවධාරණය කළේ කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි දැනට පවතින යල් පැනගිය පරිසර පනත් කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි.
මෙවර පරිසර දින සැමරුමට සමගාමීව මැයි 30 සිට ජූනි 05 දක්වා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඇතුළු පරිසර සතියක් දිවයින පුරා ක්‍රියාත්මක වූ අතර, ජාතික උත්සවයේදී සුවිශේෂී පාරිසරික තීන්දු තීරණ රැසක් ද ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර 05 රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
මීට අමතරව, මාගම වැලිකඳු වැටිය බලපෑමට යටත් වන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, අලිමංකඩ නිදහස් කිරීම, කුඩා බුබුල දිය උල්පත සහ කපුරැල්ල උණුදිය තෙත්බිම රක්ෂිත බවට පත් කිරීම ද මෙහිදී සිදු විය. මෙවර ජාතික උත්සවය කාබන් ශුන්‍ය (Carbon Neutral) වැඩසටහනක් ලෙස පැවැත්වූ බවට වන සහතිකය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර, පරිසර සඟරා එළිදැක්වීම සහ පරිසර හිතකාමී නව නිපයුම් තරගාවලිවල ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදුවිය.
















