ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව විභාග 300කට අධික ප්‍රමාණයක් පවත්වනු ලබන අතර, එම සමස්ත ක්‍රියාවලියම වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් දෙපාර්තමේන්තුවේ සියලුම ශාඛා ආවරණය වන පරිදි නවීන පරිගණක ජාලයක් ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා අනුමැතිය ලබා දී ඇත.
විභාග දෙපාර්තමේන්තුව දැනටමත් පරිගණකගත තොරතුරු පද්ධතියක් භාවිතා කළද, එහි ඇති ශාඛා අතර ජාලගත සම්බන්ධතාව සීමිත වීම නිසා තවමත් බොහෝ රාජකාරි කටයුතු භෞතික ලිපිගොනු මාර්ගයෙන් සිදු කිරීමට සිදුව තිබුණි. මෙම සාම්ප්‍රදායික ක්‍රමවේදය හේතුවෙන් දත්ත හුවමාරුවේ ප්‍රමාදයන්, කාර්යක්ෂමතාව අඩු වීම මෙන්ම මානව සහ භෞතික සම්පත් නාස්තියක් ද සිදුවන බව හඳුනාගෙන තිබිණි.
නව යෝජනාවට අනුව, මෙම පරිගණක ජාල යටිතල පහසුකම් උසස් කිරීම මගින් අභ්‍යන්තර සන්නිවේදනය සහ දත්ත කළමනාකරණය ඉතා පහසුවෙන් සහ වේගවත්ව සිදු කිරීමට හැකි වනු ඇත. රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.
මෙම ව්‍යාපෘතිය හරහා විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සහ සම්බන්ධීකරණ කටයුතු වඩාත් වේගවත් වනු ඇත. තවද භෞතික ලිපිගොනු භාවිතය අවම වීම තුළින් කඩදාසි භාවිතය සහ පිරිවැය අඩු වීමත්, දත්ත ආරක්ෂාව සහ පද්ධතියේ විශ්වසනීයත්වය ඉහළ යාමත් සිදු වේ. පහසුකම් වැඩි දියුණු වීම තුළින් සේවාව ලබා ගන්නා පාර්ශ්වයන් වන සිසුන් සහ ගුරුවරුන් වෙත වඩාත් උසස් සේවාවක් ලබා දීමට හැකියාව ලැබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ක්‍රියාත්මක වීමත් සමඟ, ශ්‍රී ලංකාවේ විභාග පද්ධතිය ඩිජිටල් යුගයට ගැලපෙන පරිදි නවීකරණය වනු ඇත.
















