නේපාලයේ හිටපු මුදල් අමාත්‍ය විෂ්ණු ප්‍රසාද් පෝඩෙල් මහතා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව නේපාල පොලිසිය නිවේදනය කරයි. එරට තරුණ පරපුරේ ප්‍රබල සහයෝගයක් සහිතව බලයට පත් වූ නව රජය, පෙර පැවති පාලන සමයන්හි සිදුවූ බව කියන දූෂණ ක්‍රියා හෙළිදරව් කරමින් සහ ඒවාට එරෙහිව දැඩි නීතිමය පියවර ගනිමින් සිටින අතර, මෙම අත්අඩංගුවට ගැනීම එම දූෂණ විරෝධී මෙහෙයුමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
පෙර රජයන් සමයේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ පිළිබඳ පුළුල් විමර්ශනයක් අරඹා ඇති වත්මන් පාලනය, නීතියට ඉහළින් කිසිවෙකු නොසිටින බව අවධාරණය කරමින් මෙවැනි ඉහළ පෙළේ දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටී. විෂ්ණු ප්‍රසාද් පෝඩෙල් මහතාට එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති අතර, මෙම දූෂණ විරෝධී පියවර මගින් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ විශාල පිරිසිදු කිරීමක් සිදුකිරීම නව රජයේ අපේක්ෂාව වී තිබේ.
















