මෙරට පොදු ප්‍රවාහන සේවයේ නියුතු බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සෙවීමේ ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සැලසුම් කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා ප්‍රකාශ කළේ පසුගිය වසරේ නොවැම්බර් සිට බස්නාහිර පළාතේ පමණක් සිදුකළ පරීක්ෂණ 5,242කින් පුද්ගලයන් 239 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වූ බවයි. මේ වසර අවසන් වන විට පරීක්ෂණ සංඛ්‍යාව දෙගුණ කර බස්නාහිරින් පිටතට ද මෙම වැටලීම් පුළුල් කරන බවත්, මගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් බලධාරීන් මෙහිදී අවධාරණය කළේය.
















